හෙළ පරපුර

ඓතිහාසික වටිනාකම් රැසක්‌ සඟවාගෙන සිටින ශ්‍රී ලංකාවේ විශාලතම හා පැරැණිතම ජාතික වනෝද්‍යානය

දශක තුනකට ආසන්න වූ කාලයක්‌ තුළ මෙරටට අඳුරු කල දසාවක්‌ උදා කළ ත්‍රස්‌තවාදී උවදුර නිමා වීමත් සමග රටට නව අරුණැල්ලක්‌ උදා විය. දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ට තහනම් ප්‍රදේශ බවට පත් වූ ජාතික වනෝද්‍යාන කිහිපයක්‌ මේ නව අරුණැල්ලත් සමග සංචාරකයන් සඳහා විවෘත විය. එහෙත් ඒ දහසක්‌ අඩුපාඩු ඇති ව ය. එනම් පහසුකම් රහිත ව ය. එහෙත් සංචාරකයන් සඳහා උද්‍යානයක්‌ විවෘත වීම එහි මතු ආරක්‍ෂාව සඳහා හේතු වන්නකි.

ශ්‍රී ලංකාවේ විශාලතම එසේ ම පැරැණිත ම ජාතික වනෝද්‍යානය වන විල්පත්තුව ජාතික වනෝද්‍යානය ද පෙබරවාරි 27 වැනි දින පාරිසරික හා ස්‌වාභාවික සම්පත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ගේ අතින් විවෘත විය. ඉන් අනතුරුව විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ කළ සංචාරයකින් මේ ලිපිය සැකසෙයි.

ඉතිහාසය

ඈත අතීතයේ එනම් අදින් වසර මිලියන 12කට පමණ පෙර මුහුදෙන් ඉහළට එසවුණු කොරල් පර ශ්‍රී ලංකාවේ දක්‌නට ඇත්තේ දෙකකි. ඉන් එකක්‌ යාල ජාතික වනෝද්‍යානයට අයත් මිනිහාගල්කන්ද නම් වූ ස්‌ථානය වන අතර අනෙක විල්පත්තුව ජාතික වනෝද්‍යානය වෙයි. මේ ස්‌ථාන දෙක ම වසර මිලියන 12කට පමණ පෙර කොරල් පරයක්‌ වුව ද අද සරුසාර වන බිමක්‌ වෙයි.

මෙයින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සැඟවුණු අතීතය පිළිබඳව විමසීමේ දී පුරාවිද්‍යාත්මක අතින් සුවිශේෂී වටිනාකම් දක්‌නට ලැබේ. මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ මේ සියලු ම ඓතිහාසික වටිනාකම් මහා ගන වනාන්තරයකින් වැසී තිබීමයි. එහි තිබෙන ෆොසිල වසර මිලියන 12කට වඩා

පැරැණි ය. එනම් මයෝසීන යුගයට අයත් ය. ප්ලයිස්‌ටොසීන යුගයට අයත් ෆොසිල විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පස්‌ වැනි කොටසේ කුදිරමලේ ප්‍රදේශයෙන් හමු වෙයි. මේ පිළිබඳව විධිමත් පර්යේෂණ කර නො තිබීම ජාතියේ අවාසනාවකි.

මෙතෙක්‌ සොයාගත් එසේම නො දන්නා වටිනා සංස්‌කෘතියක්‌ මේ වන බිමේ වැළලී තිබේ. එනම් අදින් වසර  125000ත් 5000ත් අතර කාලයකට අයත් ප්‍රාග් ඵෙතිහාසික යුගයේ ගල් ආයුධ හමු වීමත්, පූර්ව ඵෙතිහාසික යුගයට අයත් වළං කටු හා යකඩ තාක්‍ෂණය භාවිත කළ බවට මෙවලම් හමු වීමත් මේ රටේ සැඟවුණු ඉතිහාසයක්‌ කියාපාන්නකි. මේ ස්‌ථාන අතර පොන්පරිප්පුව නම් ප්‍රදේශයෙන් ඉපැරැණි සුසාන භුමියක සලකුණු හමු විය. මෙහි මිනිස්‌ සිරුරු 8000ත් 12000ත් අතර ප්‍රමාණයක්‌ වළ දමා තිබුණු බැව් හමු වන සුවිසල් මැටි භාජනවලින් කියාපායි. මේ සාධක අනුව ශ්‍රී ලංකාවේ ඉපැරැණි ශිෂ්ටාචාරය උතුරු ඉන්දියාවේ මොහන්දජාරෝ හරප්පා ශිෂ්ටාචාරවලට සෘජු සම්බන්ධතාවක්‌ දක්‌වන බැව් පෙනී යයි.

බාහිරින් වනාන්තරයක්‌ ලෙස දිස්‌ වුවත් මෙහි භූ ගර්භයේ සැඟවී ඇත්තේ කියා නිම කළ නොහැකි ඉතිහාසයකි. අදින් වසර 2500කට පමණ පෙර කාලය පිළිබඳව විමසීමේ දී ඉපැරැණි විහාරස්‌ථාන හා දේවස්‌ථාන 68ක්‌ මේ වන බිමෙන් හඳුනාගෙන ඇත. විල්පත්තුව වන උයනේ වීරසෝලි නම් ප්‍රදේශයෙන් හමු වූ පුරාවස්‌තු අතර මුචලින්ද නාගදරණය මැනැවින් පෙන්වන බුදු පිළිමය විශේෂිත ය. ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ අභිමානය සේ සැලකෙන විජය කුමරු ගේ ශ්‍රී ලංකාගමනය තහවුරු කරන තම්බපන්නිය මේ වන උයනේ පිහිටා තිබීම ද සුවිශේෂී සිහිවටනයකි. පල්ලන්කන්ද ප්‍රදේශයේ පිහිටි පැරැණි ඕලන්ද පල්ලිය ද අතීත සිහිවටනයකි. අද ලක්‌වැසි කිතුනු බැතිමතුන් මඩු පල්ලි වන්දනාවේ යන්නා සේ අතීතයේ ලක්‌වැසියන් මේ පල්ලන්කන්ද පල්ලිය වන්දනාවේ ගිය බවට සාක්‌ෂි හෙළි වෙයි. මෙවන් ශ්‍රී ලාංකේය අනන්‍යතාවන් පැහැදිලි කරන ඵෙතිහාසික ස්‌ථාන

රැසක්‌ මහ වනයෙන් වැසී ආරක්‍ෂා වී තිබීම ජාතියේ වාසනාවකි. එහෙත් ඒවා හෙළිදරව් කිරීම ද යුගයේ අවශ්‍යතාවක්‌ වන්නේ එය සැඟවුණු ශ්‍රී ලාංකේය අනන්‍යතාවන් ගොඩගැනීමට හේතුවක්‌ වන බැවිනි.

ශ්‍රී ලංකාවේ විශාලතම ජාතික වනෝද්‍යානය වන විල්පත්තුව, වනෝද්‍යාන සංකීර්ණයකි. වර්ෂ 1905 දී රක්‍ෂිත භූමියක්‌ ලෙස ප්‍රකාශයට පත් කෙරුණු මේ වන පෙතේ පළමු කොටස වූ අනුරාධපුර සහ පුත්තලම් යන දිස්‌ත්‍රික්‌ක දෙකට අයත් හෙක්‌ටයාර 54953.2ක භූමි ප්‍රමාණය ජාතික වනෝද්‍යානයක්‌ ලෙස ප්‍රකාශයට පත් කරන ලද්දේ වර්ෂ 1938 පෙබරවාරි 25 වැනි දින ය. ඉන්පසුව වර්ෂ 1967 අප්‍රේල් 28 වැනි දින හෙක්‌ටයාර 7012.4ක්‌ ද, 1969 අගෝස්‌තු 27 වැනි දින හෙක්‌ටයාර 22981ක්‌ ද, දෙසැම්බර් 05 වැනි දින හෙක්‌ටයාර 25252.9ක්‌ ද අවසන් වරට වර්ෂ 1973 දෙසැම්බර් 07 වැනි දින හෙක්‌ටයාර 21484.8ක්‌ ද යනාදි වශයෙන් එක්‌ වීමෙන් වත්මන් විල්පත්තු ජාතික වනෝද්‍යානයට හෙක්‌ටයාර 131693.7ක විශාලත්වයක්‌ අත් වී ඇත. එනම් වත්මන් විල්පත්තුව ජාතික වනෝද්‍යානය කොටස්‌ පහකින් යුත් උද්‍යාන සංකීර්ණයකි. එසේම විල්පත්තුව ජාතික වනෝද්‍යානය හා විල්පත්තු උතුරු අභයභූමිය තබ්බෝව අභයභූමිය සහ වීරක්‌කුල්චෝලේ-එළුවන්කුලම යෝජිත රක්‍ෂිතය වැනි වනාන්තර ද සම්බන්ධ වී තිබේ.

කොළඹ සිට මීගමුව, හලාවත, පුත්තලම හරහා අනුරාධපුරය මාර්ගයේ පැමිණ විල්පත්තු හන්දියෙන් හැරී කිලෝමීටර් 8ක්‌ පමණ දුර ගිය විට හුනුවිල ගම පිහිටි ඉසව්වෙන් උද්‍යාන පිවිසුම් මාර්ගයට පැමිණිය හැකි ය. මේ සඳහා කිලෝමීටර් 185ක්‌ පමණ දුරක්‌ ගෙවා දැමිය යුතු වෙයි. මීට අමතරව කොළඹ, වරකාපොළ කුරුණෑගල, ගල්ගමුව හරහා පුත්තලමට පැමිණ පුත්තලම හරහා අනුරාධපුරය මාර්ගයේ පැමිණ විල්පත්තු හන්දියෙන් හැරී හුනුවිලගම උද්‍යාන පිවිසුම් කාර්යාලයට පැමිණිය හැකි ය. දඹුල්ල දෙසින් පැමිණෙන්නේ නම් කැකිරාව, මරදන්කඩවල, අනුරාධපුරය හරහා පුත්තලම මාර්ගය ඔස්‌සේ හුනුවිල ගමට පැමිණිය හැකි ය. මේ කවර මාර්ගයකින් ම පැමිණිය ද උද්‍යානයට ඇතුළු විය හැක්‌කේ එක ම පිවිසුම් දොරටුව වූ හුනුවිල ගමෙන් පමණි.

භෞතික ලක්‌ෂණ

මුහුදු මට්‌ටමෙන් මීටර් 1.5ක පමණ උසකින් පිහිටා ඇති විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමේ මල්වතුඔය හා මෝදරගම්ආරු ද, දකුණු මායිමේ කලාඔය ද, බටහිරින් තැනින් තැන කුඩා ගල් පර්වත සහිත තැනිතලා බිමක්‌ හා වෙරළ තීරයක්‌ ද, නැඟෙනහිරින් හුනුවිලගම, විලච්චිය, තන්තිරිමලේ යන ගම්මාන ද මායිම් ව පිහිටා ඇත.

මුළු වනෝද්‍යානයේ ම තිබෙන විල්ලු ගණන 40ක්‌ වන අතර ඉන් ප්‍රධාන විල්ලු ගණන 27කි. කොක්‌කාරිය හා ලුනුවිල යන විල්ලු කරදිය විල්ලු ලෙස හැඳින්වෙයි. මෙයින් කොක්‌කාරිය විල්ලුව ප්‍රමාණයෙන් විශාල වන අතර මුහුදු මට්‌ටමෙන් අඩි 250ක්‌ ඉහළින් ද, මුහුදු මායිමේ සිට සැතපුම් 10ක්‌ උද්‍යානය තුළට වන්නට ද පිහිටා තිබීම හා වසර පුරා ම දිය නො සිඳී තිබීම විශේෂත්වයකි. ඉතිරි විල්ලු 24 මිරිදිය විල්ලු ලෙස හැඳින්වෙයි. බොරුපන්විල, මහාපතැස්‌ස, කුඹුක්‌විල, තිඹිරිවිල, පැණිකෑවිල, කාලිවිල්ලු, මහාවිල, කුඩාපතැස්‌ස, කොහොන්කාන්විල්ලු, මානික්‌කපොළඋත්තු, නෙළුම්විල, කාලවිල, අලව්විල්ලු, මාරික්‌කාරම්, උඩප්පු, ඉරියකුලම්, මයිලවිල, කාන්පුරම්, නෑබඩ, සෙංගපත්තු, කාංචිපුරම්, කොරාවිල්ලු, කුමිටුවිල්ලු සහ කුරුට්‌ටුපණ්‌ඩි යන විල්ලු මිරිදිය විල්ලු ලෙස සැලකේ.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ 5 වැනි කොටසේ පිහිටි පෙරලිය විල්ලුව මතුපිට විශාල වර්ග ඵලයක්‌ ඇති විල්ලුවක්‌ වන අතර පෙරියනාග විල්ලුව දිගින් වැඩි විල්ලුවකි. මේ කොටසේ ම පිහිටා ඇති ලුණු මිදෙන විල්ලු ලෙස සින්නඋප්පු විල්ලුව, පෙරියඋප්පු විල්ලුව හැඳින්විය හැකි ය. උද්‍යානයේ බටහිර සීමාවේ මුහුදට ආසන්නව මේ විල්ලු පිහිටා ඇත.

වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1000ත් 1500ත් අතර ප්‍රමාණයකි. සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 27ක්‌ පමණ වෙයි. මැයි සිට සැප්තැම්බර් දක්‌වා වියළි කාලගුණයක්‌ පවතින අතර අන්තර් මෝසම් කාලවල දී වැසි ලැබෙයි. විල්ලුවලින් ගහන වූ ප්‍රදේශයක්‌ බැවින් මේ වනෝද්‍යානයට විල්පත්තුව යනුවෙන් නම පටබැඳී ඇති බැව් ඉතිහාසගත කරුණුවලට අනුව අනාවරණය වෙයි .

ශාක ගහනය

වියළි කලාපීය සරු ජෛව විවිධත්වයකට උරුමකම් කියන විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ තණබිම්, කටුපඳුරු සහිත ලඳු කැළෑ, බඩවැටි, මූකලාන, ගංගාධාර, වනාන්තර, මහ වනාන්තර, කඩොලාන හා වෙරළාශ්‍රිත ශාක පද්ධති ද දක්‌නට ලැබේ. කරන ලද සමීක්‌ෂණවලට අනුව විල්පත්තුවෙන් හමු වන සපුෂ්ප ශාක විශේෂ ගණන 605කි. මෙයින් ශාක විශේෂ 33ක්‌ ශ්‍රී ලංකාවට ආවේණික වෙයි. මේ ශාක අතර බුරුත, කළුවර, පළු, ආරිද්ද සහ හීන් ඇඹිලිය වැනි ශාක විශේෂ රාශියක්‌ හමු වන අතර ආවේණික ශාක විශේෂ ලෙස හැඳින්වෙන ගල්වීර, ඇටඹ, පුහුල, හීන්කෙන්ද, වල් කෝපි යන ශාක ද, ඖෂධීය ශාක විශේෂ රාශියක්‌ ද හමු වෙයි. රණවරා, හාතාවාරිය, කෝවක්‌කා, හීන් තොලබෝ, ගොඩමානෙල්, මස්‌බැද්ද මුහුදු බිම්නුග, ඉරමුසු වැනි විශේෂ ඊට අයත් වෙයි. විල්පත්තුවේ විල්ලු ප්‍රදේශවල Oryza nivara (ඔරයිසා නිවාරා) සහ Oryza ribzomatis (ඔරයිසා රිබිසොමාටිස්‌) යන ඌරු වී නම් දේශීය වල් වී විශේෂ දෙක ද හමු වෙයි. වනගත පලතුරු බහුල විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කෝන්, මාදං, කිරිකෝන්, හිඹුටු, ඇඹුල් ඇඹිලිය, මහ එරමිණියා, දිවුල් වැනි ශාක විශේෂ දක්‌නට ලැබේ. උඩවැඩියා විශේෂ කිහිපයක්‌ ඉතා ම දුර්ලභව දක්‌නට ලැබෙන විල්පත්තු වන උයනෙන් අනුරාධපුර උඩවැඩියා (Anuradhapura Orchid – (Vanda tessellata) විශේෂය හමු වීම ද විශේෂත්වයකි. ජලාශ්‍රිත ප්‍රදේශවල ගංගාධාර වනාන්තර ස්‌වභාවයක්‌ දක්‌නට ලැබෙන අතර මේ පරිසර පද්ධතිවල කුඹුක්‌ ශාකය බහුලව දක්‌නට ලැබේ. මෙය මේ ප්‍රදේශයට ආවේණික සුලබ දර්ශනයකි. කුඹුක්‌ ශාකය සරුවට වැඩී තිබීම ජලාශ සංරක්‍ෂණයට හේතුවක්‌ වී තිබේ. මී ශාකය, තිඹිරි, මාදන් යන ශාකවලින් මෝදරගංආරු සහ කලාඔය ආශ්‍රිත ගංගාධාර මඟින් වනබිම් පෝෂණය වී තිබීම විල්පත්තුව ජාතික වනෝද්‍යානයට ආවේණික ලක්‌ෂණයකි. මෙහි දක්‌නට ලැබෙන තවත් සුවිශේෂි ලක්‌ෂණයක්‌ වන්නේ මේ ගංගාධාර වනාන්තර පක්‍ෂීන්, සිවුපාවුන්, උරගයන් සහ උභයජීවී විශේෂ රාශියකට වාසස්‌ථාන සපයා දී තිබීම ය.

විල්පත්තු ජාතික අභයභූමියේ බටහිර කොටස වියළි තණ බිම්වලින් ගහන ය. මිනිස්‌ ක්‍රියාකාරකම් බහුලව සිදු වීම, වියළි තණ බිම්වල ස්‌වභාවය වෙනස්‌ කිරීමට හේතු වී තිබේ. කටුපිල ශාකය මෙහි බහුලව දක්‌නට ලැබේ.

විල්පත්තු වනෝද්‍යානයේ සරුවට දක්‌නට ලැබෙන තෙත්බිම් පරිසර පද්ධති ඉහළ ජෛවවිවිධත්වයක්‌ ඇති කිරීමට සමත් වී තිබේ. එනම් වැඩි පක්‍ෂි ගහණයක්‌ මෙන්ම උභය ජීවීන් විශාල ගහණයක්‌ මේ පරිසර පද්ධති ආශ්‍රිතව දක්‌නට ලැබේ. කාලාඔය ආශ්‍රිත ජල ගැලුම් නිම්න පිහිටා තිබීම විල්පත්තු ජාතික වනෝද්‍යානයට ආවේණික වූ ලක්‌ෂණයකි. ඊසානදිග මෝසම් වැසිවලින් පෝෂණය වන මේ තෙත්බිම් ආශ්‍රිතව මයුර තණ, විෂ්ණුක්‍රාන්ති, ගැටතුඹ, සහ සරු වී නම් වල් වී විශේෂයක්‌ ද දක්‌නට ලැබේ.

ජලය පිරුණු තෙත් බිම් ද බහුල ය. මේ තෙත්බිම්වල වසර පුරා ම ජලය දක්‌නට ලැබීම ද විශේෂත්වයකි. ජලය පිරුණු වගුරු තෙත් බිම් ආශ්‍රිතව තිඹිරි, මාදන්, කුඹුක්‌, වීර වැනි මහා ගස්‌ මෙන්ම ඉලුක්‌, අන්දනිහිරිය, රතඹලා, හීන් කොක්‌මොට, නීරමුල්ලිය, ඌරු වී, නලගස්‌, මහා ගැටපන්, හම්බු පන් වැනි ශාක විශේෂ දක්‌නට ලැබේ. විල්ලුවලට ප්‍රසිද්ධ විල්පත්තුව වන උයන සැම තැන ම පැතිරී ඇති විල්ලුවල කලාඳුරු හීන් උඳුපියලිය, ගැටතුඹ, ගම්පිල, වෙල්හිරි, කීකිරිඳිය, හිරමනදැත්ත, මහා ගැට පන්, හීන් දිය සියඹලා, ලුණුවිල,, අස්‌සවල්ග සහ නිල්මොණරැස්‌ස වැනි විශේෂ රාශියක්‌ දක්‌නට ලැබේ.

විල්පත්තුව ආශ්‍රිත මුහුදු තීරය මුහුදු තෘණ සරුවට වැවෙන ප්‍රදේශයකි. කලාඔය ආශ්‍රිතව පිහිටි කඩොලාන වනාන්තර පද්ධතිය තුළ මල් කඩොල්, පුන්කන්ද, මහ කඩොල්, සුදු කිරල, තෙලකීරිය සහ බේරිය යන කඩොලාන විශේෂ බහුලව දක්‌නට ලැබේ.

සත්ත්ව ගහණය

දෙස්‌ විදෙස්‌ සංචාරකයන් අතර, සත්ත්ව විවිධත්වයක්‌ දක්‌නට ලැබෙන බවට ප්‍රසිද්ධ විල්පත්තු ජාතික වනෝද්‍යානය වන සතුන් විශේෂ රාශියකට සෙවණ ලබා දෙයි. ක්‍ෂීරපායි සත්ත්ව විශේෂ පිළිබඳව සැලකීමේ දී මේ වනෝද්‍යානය තුළ කුල 21කට අයත් ක්‍ෂීරපායින් විශේෂ 41ක්‌ දක්‌නට ලැබේ. මේ ක්‍ෂීරපායි විශේෂවලට ශ්‍රී ලංකාවට ආවේණික රිලවා, ශ්‍රී ලංකා කළු වඳුරා, ශ්‍රී ලංකා රන් කලවැද්දා, මිමීන්නා, උණහපුලුවා, දිගු වල්ග ගස්‌ මීයා, වලහා වැනි ක්‍ෂීරපායි විශේෂ මෙන්ම ශ්‍රී ලංකා කොටියා, හඳුන් දිවියා, කොළ දිවියා, ඕළු මුවා, මුවා, අලියා, කුළු හරකා, හෝතඹුවා, කබල්ලෑවා, මුගටියා, ඉත්තෑවා වැනි තවත් ක්‍ෂීරපායි විශේෂ රාශියක්‌ මේ වනෝද්‍යානය තුළ දැකගත හැකි ය.

පක්‍ෂි ගහණය

කුල 57කට අයත් පක්‍ෂි විශේෂ 149ක්‌ මේ වනෝද්‍යානයේ දක්‌නට ලැබෙන අතර මේ පක්‍ෂී විශේෂවලට සංචාරක පක්‍ෂීන්, දේශීය පක්‍ෂීන් මෙන්ම ආවේණික පක්‍ෂීන් ද වෙයි. ආවේණික පක්‍ෂි විශේෂ 4ක්‌ හමු වෙයි. මේ විශේෂ 4ට අළු කෑදැත්තා, ශ්‍රී ලංකා බොරග දෙමළිච්චා, රන් මූණත් කොට්‌ටෝරුවා සහ වලි කුකුළා යන පක්‍ෂීන් අයත් වෙයි. මේ හැරුණු කොට මහා පිති පෙඳ කවුඩා, නීල බිඟුහරයා, පොරෝලුවා, සිළු සර්ප උකුස්‌සා, කළු උකුස්‌සා, බමුණු පියාකුස්‌සා, කුරුලුගොයා වැනි මාංශ භක්‍ෂක පක්‍ෂීන් මෙන්ම ජලාශ්‍රිත ප්‍රදේශවල ආසියානු විවරතුඩුවා, ගගනි සේරුවා, හීන් තඹ සේරුවා, යුරාසියානු හැඳිආලාවා, මහ සුදු කොකා, ගව කොකා, කරවැල් කොකා, ලතුවැකියා, ගල්වඩු සයුරු ලිහිණියා, දම් කිතලා, කිරලා වැනි පක්‍ෂීන් මෙන්ම සිවුරු හොරා, සුදු රෙදි හොරා, පොළොස්‌ කොට්‌ටෝරුවා ද නිශාචර පක්‍ෂීන් වන බිම් බස්‌සා, පිටතඹල උප බස්‌සා, උලමා වැනි පක්‍ෂි විශේෂ රාශියක්‌ ද මේ වන උයන තුළ හඳුනාගත හැකි ය.

උරග විශේෂ

උරග විශේෂ ගණනාවක්‌ හමු වන විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ශ්‍රී ලංකාවේ උග්‍ර විෂ සහිත සර්ප විශේෂ 7ට අයත් වන නයා, පොළඟා, මුදු කරවලා, මුහුදු නයා, පොළොන් තෙළිස්‌සා, තෙල් කරවලා, සහ වැල් පොළඟා යන සර්පයන් හැරුණු කොට වියළි කලාපීය වනාන්තරවල වෙසෙන සියලු ම සර්පයන් හමු වීම විශේෂත්වයකි. පසුගිය සමයේ කළ පර්යේෂණවලින් මේ වන බිමෙන් සර්ප විශේෂ 57ක්‌ පමණ වාර්තා වන බව හෙළිදරව් වී තිබේ.

කටුසු විශේෂ කිහිපයක්‌ වාර්තා වන විල්පත්තුවෙන් කරමල් බෝදිලියා, පිනුම් කටුස්‌සා, පලා කටුස්‌සා වැනි කටුස්‌සන් ද, ගල් හූනා, තුඹස්‌ හූනා වැනි හූනු විශේෂ කිහිපයක්‌ ද, හමු වෙයි. ශ්‍රී ලංකාවේ විශාල ම උරග විශේෂ දෙක වන පිඹුරාත්, කිඹුලාත් මෙහි දී දැකගත හැකි ය. විෂ රහිත සර්පයකු වන ඇහැටුල්ලා ද මෙහි දී දැකගත හැකි ය.

මිරිදිය මත්ස්‍ය විශේෂ

තෙත්බිම් හා විල්ලු හා අනෙක්‌ ජලාශ්‍රිත ප්‍රදේශවල විශේෂයෙන් කලාඔයෙන් හා මෝදරගම් ආරුවෙන් පෝෂණය වන ජලජ පද්ධතිවල කුල 73කට අයත් මිරිදිය මත්ස්‍ය විශේෂ 30ක්‌ දක්‌නට ලැබෙයි. මෙයින් විශේෂ 28ක්‌ දේශීය මත්ස්‍ය විශේෂ වන අතර විශේෂ 2ක්‌ පමණක්‌ හඳුන්වා දුන් විශේෂ වෙයි. හොර දණ්‌ඩියා, වයිරන් ආඳා, ඉරි අංකුට්‌ටා, වයිරන් අයිරාවා, කොට පෙතියා, තඹලයා, මගුරා, දම්කොළ පෙතියා, මඩ කනයා, ගං ආරා, ලූලා, වලපොත්තා, බලි වැලි ගොව්වා, මහ වැලිගොව්වා, දම්කොළ සාලයා, ගංතෙලියා, මහ වලයා, තෙප්පිලි වැනි මත්ස්‍ය විශේෂ රාශියක්‌ ජලාශ්‍රිත ප්‍රදේශවල දක්‌නට ලැබේ.

උභය ජීවීන්

කුල 5කට අයත් උභය ජීවීන් විශේෂ 17ක්‌ දක්‌නට ලැබෙන විල්පත්තුව වනෝද්‍යානයේ ආවේණික උභය ජීවීන් විශේෂ 3ක්‌ හමු වෙයි. ශ්‍රී ලංකා ගස්‌ගෙම්බා, සුලඹ පිහිඹු ගස්‌ මැඩියා සහ අතුකෝරල ගේ කුරු ගෙම්බා යන විශේෂ ආවේණික වෙයි. මේ හැරුණු කොට විසිතුරු මැඩියා, උත්පතන මැඩියා වැනි ගෙම්බන් හා මැඩියන් විශේෂ ගණනාවක්‌ මෙහි දක්‌නට ලැබේ.

පසුගිය දා අපි විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සංචාරයක යෙදුණෙමු. මේ සංචාරයේ දී ඇසු දුටු දේ මෙහි දී සඳහන් කිරීම එහි අනාගත සුබසිද්ධියට හේතුවක්‌ වනු ඇත. මෙදින වනෝද්‍යානය දෙස්‌ විදෙස්‌ සංචාරකයන් සඳහා විවෘත වුව ද, නව කාර්යාල ගොඩනැඟිල්ලක්‌ ඉදි කළ ද, රාජකාරි කටයුතු සඳහා ඇත්තේ එක ම වාහනයකි. කැන්ටර් වර්ගයේ එම වාහනය වනෝද්‍යානය තුළ රාජකාරි කටයුතු සඳහා යෙදවීමට නොහැකි ය. උද්‍යාන පාලකවරයා ගේ අදහසට අනුව කාර්යාල සේවකයන් සැම අංශයක්‌ සඳහා ම අවශ්‍ය ව ඇත. විල්පත්තුව උද්‍යානය වසා දැමීමට පෙර උද්‍යානයේ තිබුණු බීට්‌ටු කාර්යාල 43හි නිලධාරීන් 243ක්‌ සේවය කර ඇතත් අද ක්‍රියාත්මක වන බීට්‌ටු ප්‍රමාණය 11කි. සේවකයන් ගේ ගණන 20කි. සංචාරකයන් සඳහා මාර්ගෝපදේශකයන් 10 දෙනකු දැනට සේවය කරන අතර තව අවම වශයෙන් 20 දෙනකු වත් සේවය සඳහා අවශ්‍ය ව ඇත. මූල්‍ය කළමනාකරණ කටයුතු ඉදිරියේ දී වැඩි වන සංචාරකයන්ට අනුව විධිමත්ව කළ යුතු බැවින් ඒ සඳහා ගිණුම් ලිපිකරුවන් ගේ අවශ්‍යතාවක්‌ ද ඇත. එනම් අංග සම්පූර්ණ උද්‍යාන මුලස්‌ථාන කාර්යාලයක්‌ පවත්වාගෙන යැමට සැම අංශයක්‌ සඳහා ම සේවකයන් ගේ අවශ්‍යතාවක්‌ ඇත. වනෝද්‍යානය තුළ රාජකාරි කටයුතු සඳහා සුදුසු රථවාහන ප්‍රමාද නො වී ලබා දීමට අදාළ නිලධාරීන් කටයුතු කරන්නේ නම් ඉදිරියේ දී විල්පත්තුව වනෝද්‍යානයට එල්ල වන අභියෝග ජය ගැනීමට හැකි වනු ඇත.

උද්‍යානය තුළ සංචාරයේ දී අප දුටු දෙයක්‌ මෙහි දී සඳහන් කරනු කැමැත්තෙමි. උඩවලව ජාතික වනෝද්‍යානයට ගඳපාන ආක්‍රමණික ශාකයක්‌ වී ඇති සේ විල්පත්තුව වනෝද්‍යානය කැප්පෙටියා, සහ පොඩි සිංඤොaමරන් ශාක මගින් ආක්‍රමණය වී ඇති බවයි. අප සංචාරය කළ මඟ දෙපස බොහෝ තැන්වල කැප්පෙටියා ශාකය සරුවට වැඩී තිබෙනු දුටුවෙමු. එබැවින් කවර හෝ ක්‍රමවේදයක්‌ භාවිතයෙන් මේ ආක්‍රමණික ශාක උද්‍යානයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම එහි ජෛවවිවිධත්වය රැක ගැනීමට හේතුවක්‌ වෙයි. අවසරයෙන් හෝ අනවසරයෙන් හෝ උද්‍යානයට ඇතුළු වන සංචාරකයන් ඔවුන් ගේ හිතුමතේ උද්‍යානය තුළ සැරිසරන බවක්‌ දක්‌නට ලැබිණි. ඒ පිළිබඳව ද විමසිලිමත් වීම අත්‍යවශ්‍ය වෙයි. මෙවන් සිදුවීම් පාලනය කිරීමට සේවකයන් ගේ ප්‍රමාණවත් සේවාවක්‌ අත්‍යවශ්‍ය වෙයි.

කෙසේ වෙතත් විල්පත්තුව ජාතික වනෝද්‍යානය දැන් මහජනයාටත් දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ටත් විවෘත ය. වස්‌ගමුව උඩවලව වැනි ජාතික වනෝද්‍යාන තුළ තිබෙන පහසුකම් විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ නැත. රාත්‍රිය ගත කිරීම සඳහා සංචාරක නිවහන් ද නැත. එහෙත් ප්‍රධාන දොරටුවෙන් ගන්නා අවසර පතක්‌ ඇති ව උපදේශකයකු සමග වන උයනට ඇතුළු වී පරිසරයටත් වන ජීවීන්ටත් හානියක්‌ නො වන අයුරින් සංචාරය කළ හැකි ය. උදෑසන 6.00 සිට සවස 6.00 දක්‌වා වූ කාල සීමාව දෙස්‌ විදෙස්‌ සංචාරකයන් සඳහා විවෘත ව පවතී එබැවින් ඉතා වටිනා අතීතයක්‌ සඟවා ගත් විල්පත්තුව ජාතික වනෝද්‍යානය වනෝද්‍යානයක්‌ පමණක්‌ නො ව ජාතික කෞතුකාගාරයක්‌ වන්නා සේ ම ස්‌වාභාවික කෞතුකාගාරයක්‌ වන බව ද අප අමතක කළ යුතු නැත. එබැවින් මෙය රැක ගැනීම අප සැම ගේ යුතුකමක්‌ වෙයි.

විදුසර ඇසුරෙනි. (උපුටා ගැනිම වෙනුවෙන් ගෞරවනීය ස්තුතිය www.ravanabrothers.com)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s