හෙළ පරපුර

හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරුවෝ

විද්‍යෝදය පාරිවෙණික ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් අම්බලන්ගොඩ  සුමේධානන්ද හිමි

ශ්‍රී සුමංගල සමය මෙකල පවත්නා ශාස්ත්‍රීය දියුණුවේ මූලාරම්භයයි. මේ රටේ තිබුණු පැරැණි ග්‍රන්ථ සියල්ලක්ම පුස්කොළ පොත්ය. ඒවායේ පිටපත් තිබුණේ ස්වල්පයකි. මෙකල ප්‍රථමයෙන්ම කළ යුතු ශාස්ත්‍රීය සේවය වූයේ පුස්කොල පොත්වල තිබුණු ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ මුද්‍රණය කරවීමයි. පසුව පුස්කොල පොත්වලට සන්න, ගැටපද, ව්‍යාඛ්‍යා ප්‍රදීපිකා, ටීකා ආදිය ලිවීමෙන් ඒ සේවය වඩාත් උසස් ලෙස සිදුකර ඒ යුගයේ සුමංගල මාහිමියෝ බාලාවතාරයට සුබෝධිනී ටීකාව සැපයීම , සිදත් සඟරා සන්නය, බ්‍රාහ්මණ ධර්මකාව්‍ය , කාව්‍යශේඛර සන්නස ආදී වැදගත් ග්‍රන්ථ රාශියකට සන්න සැපයූහ. මෙතුමන්ගේ සෙසු කෘති අතර වාර්ණරීතිය, මාසර්තු ලක්‍ෂණ, සත්‍ය සංග්‍රහය , සන්ධි ග්‍රහය, සීමා විභාගය, ආඛ්‍යාත ව්‍යාඛ්‍යාව ආදිය මේ යුගයේ සුමංගල මාහිමියන් එළිදැක්වූ ග්‍රන්ථ ය.

ෂට් භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියන් වැනි මහා ප්‍රාඥ යතිවරයන්ගෙන් ද, කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත ද්විතීය පරාක්‍රමබාහු වැනි නරවීරයන්ගෙන් ද අනූනව පැවති ශ්‍රී ලංකාද්වීපය කාලිංඝ මාඝ, සීතාවක රාජසිංහාදී අදාන්ත රජවරුන්ගෙන් ද විදේශිකයන්ගේ ආක්‍රමණයන්ගේ ද පරිහානියේ අන්තයටම පත්විය. වර්ෂ 1830 න් පසු සිරිලක සිටි අග්‍රගණ්‍ය පඩිවරුන් අතර දකුණුලක බිහිවූ ශ්‍රේෂ්ඨතම පඩිරුවනකි. හික්කඩුවේ නායක හාමුදුරුවෝ අපට ජාතික ආගමික, සාමාජික , සංස්කෘතික වශයෙන් විශාල සේවාවක් කළ උන්වහන්සේ ශාස්ත්‍රීය වශයෙන් විශේෂිත වූ සේවාවක් කළ අමරණීය යතිවරයාණන් වහන්සේ නමක් වෙති.

1827 ජනවාරි 20 දින දකුණු සිරිලක හික්කඩුව හෙට්ටිගොඩ ග්‍රාමයේ උපත ලැබූ නිකුලස් කුමාරුවාගේ මව්පියන් වන්නේ ගුණවර්ධන රාළහාමි මහතා හා ක්‍රිස්තිනා හාමිනේ මැතිණියයි. එම දෙපළට දාව ලත් පස්වන පුත්‍රයා නිකුලස් විය. සියලු නෑදෑ හිත මිතුරන්ගේ කැමැත්ත අනුව මේ කුමරුවා පැවිදි කිරීමට තීරණය කරන ලදී. මේ කුමරු 1840 නොවැම්බර් මසට යෙදුනු වස් අවසානයේ දී තොටගමුවේ විජයබාහු පිරිවෙණේ දී මහ සඟරුවන මැද සුමංගල යන නමින් සසුන් ගත විය. අධ්‍යාපනය හැදෑරීම සඳහා රත්මලානේ පරමධම්ම චේතිය පිරිවෙණට, වලානේ ශ්‍රී සිද්ධාර්ථ මාහිමියන් වහන්සේගේ අනුදැනුම පිට ඇතුලත් වූ මේ කුඩා සාමණේරයන් වහන්සේ මැනවින් සිප්සතර හැදෑරීමට පෙළඹිණි. සිංහල බෞද්ධ සාහිත්‍ය පොත් වැඩි වශයෙන් කියවා තිබීමත් පාලි භාෂාව ව්‍යක්ත ලෙස කථා කිරීමට හැකියාව තිබීමත්, ඉංගී‍්‍රසි භාෂාව තරමක් දුරට ඉගෙන තිබීමත් මෙම සුමංගල හිමියන්ට උසස් අධ්‍යාපනය හැදෑරීමට පහසු විය. මේ වන විට විසිවසක් ඇතිව උපසම්පදාර්හව සිටි බැවින් උපසම්පත්තියට ද පත් විය.

විදුදය ආරම්භය

ලංකාවේ ඉගැන්වීම් කළ පැරණි විද්‍යස්ථාන ආවේ පිරිවෙණ යන නමිනි. එහි ඉතිහාසය මෙහි බෞද්ධ සමය තරමට පැරණිය . එහෙයින් පිරිවෙන් ඉතිහාසය බොදු සමය මෙහි පිහිටුවාලූ දෙවන පෑතිස් රජුගේ කාලය දක්වා දිව යයි. ලංකාවේ භික්ෂු සමාජය මිහිඳු මහරහතන් වහන්සේ මෙහි වැඩම වීමෙන් පසුව ඇරඹි බව අප දන්නා කාරණයකි. භික්ෂු සමාජය නැගී වැඩී එත්ම දඹදිව අශෝක රාජ්‍යයේ පැවති බොදු සිරිත් එහෙම් පිටින්ම මෙහි වැද්දගන්නේ වන.

එවක ඉගෙනීමෙහි ප්‍රධාන අංශයව පැවතුනේ වාචෝද්ගත කිරීමයි. නමුත් 1873 දී විශාල වශයෙන් පෙරලියක් ඇති කරමින් කොළඹ මාලිගාකන්ද පාරේ විද්‍යෝදය විද්‍යාලය නමින් විද්‍යස්ථානයක් ඇරඹිණි. ඒ අතරම 1875 දී කැලණියේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ද ඇරඹිණි. මෙම පිරිවෙන් දෙක එතෙක් තැන් තැන්වල කරගෙන ආ දේශීය ඉගැන්නුම් ක්‍රමයේ මල් පිපීමක් වැනිය. මින් හික්කඩුවේ නාහිමි ඇරඹූ විද්‍යෝදය පිරිවෙණ 19 වන හා මේ 21 වන සියවසේ නැගී ආ දේශීය භාෂා ශාස්ත්‍ර දියුණුවේ මුල් බිමක් වූ බව ප්‍රසිද්ධ කරුණකි.

වාද විවාදවලට සහාය දීම

මේ රටේ පළමු කොට ක්‍රිස්තියානිය වැළඳගත් හැම සිංහලයෙක්ම බඩ වියත තකා උසස් තනතුරු තාන්න මාන්න වැළඳ ගත්හ. ඔවුන්ගෙන් සමහරුන් ඉන් නොනැවතී බුද්ධාගම මෙරටින් තුරන් කරන අදහසින් යුතුව බෞද්ධයන් සමග ආගම් වාද වලට ඉදිරිපත් වීමට තරම් නිර්භය වූහ. නිර්ලජ්ජි වූහ. සිංහල ක්‍රිස්තියානි පාදිලිවරු කතිසේරුවරු බෞද්ධාගම ප්‍රසිද්ධියේ විවේචනය කරමින් වාදයට උසිගැන්වූහ. මෙහි ප්‍රතිඵලයක් ලෙස බද්දේගම වාදය, පානදුර වාදය, ගම්පල වාදය, උරුගොඩවත්තේ වාදය ආදී වාද රාශියක් බෞද්ධ ක්‍රිස්තියානි දෙපක්ෂය අතර ඇතිවිය. මේ සඳහා ප්‍රාර්ථනා කරගෙන පැමිණියෙකු වැනි මිගෙට්ටුවත්තේ හාමුදුරුවෝ , බුලත්ගම , හික්කඩුවේ , පොතුවිල ආදී ධර්මවිනයධර මහතෙරුවරුන්ගේද සහාය ඇතිව කේශර සිංහරාජයෙකු ලෙස නිර්භයව ඉදිරිපත්ව වාද කොට හැම තැන් හිදීම ක්‍රිස්තියානි පක්ෂය පරාජිත කොට හිස්ලූලූ අත පන්නා දැමූහ. ශ්‍රී සුමංගල යුගය වාදී යුගයක් හැටියට සැලකිය හැකිය. මේ යුගයේ ආගමික වාද හා ශාස්ත්‍රීය වාදත් රාශියක්ම සිදු විය. බෞද්ධ, ක්‍රිස්තියානි වාද පමණක් නොව පාරුපන වාදය, බුද්ධවර්ෂ වාදය, අධිමාසවාදය අදී වාද රාශියක්ම බෞද්ධයන් අතර පැන නැගිණි. සව්සත්දම් වාදය, නණලළ වාදය ආදී ශාස්ත්‍රීය වාදද ඇති විය. මේ සියලු වාදයන්ට හික්කඩුවේ නාහිමියන්ගේ සහාය ලැබුණු බව ප්‍රකටය.

පුවත්පත් සේවය

හික්කඩුවේ නාහිමියන්ගෙන් සිදුවූ පුවත්පත් සේවය ගැන එක එල්ලේ කරුණු කීමට අපහසුය. ලංකාවේ සිංහල පුවත්පතක් පළමුවෙන් ආරම්භ කරන ලද්දේ 1862 දීය.

එය “ ලංකාලෝක “ නම් විය.එය පළමු පුවත්පත් ගැන වැඩියමක් දැනගන්නට අපහසුය. ඉන්පසු “ලක්රිවි කිරණ “ ඊළඟට පළමු සිංහල පුවත්පත හැටියට දැනගන්නට ඇත. පොදු පත්‍රයක් වූ මෙය ක්‍රිස්තියානීන් විසින් පාලනය කරනු ලැබූවකි. කොග්ගල ධම්මතිලක පඬිතුමා විසින් අරඹන ලද “ ලක්මිණි පහන “ ද මේ කාලයට අයත් පත්‍රයකි. එහෙත් මේ පත්‍ර අතරෙන් හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් වහන්සේගේ සහාය ලැබුනේ ධම්මතිලක පඬිතුමාගේ කර්තෘත්වයෙන් පැවති ලක්මිණි පහන පත්‍රයටය. මේ රටේ පුවත්පත් සේවයට මාහිමියන්ගේ සහාය නිරායාසයෙන්ම ලැබෙන්නට වූයේ, පරම විඥානාර්ථ බෞද්ධ සමාගම විසින් 1880 දී සරසවි සඳරැස පත්‍රය පටන්ගත් විටය. ඒ වනාහි හික්කඩුවේ මා හිමියන් වහන්සේ විද්‍යෝදය පිරිවෙණ පටන්ගෙන එමගින් මේ රටේ ධර්ම ශාස්ත්‍රාලෝකය පතුරුවන්ට වූ සමයයි. ඒ වන විට උන් වහන්සේ පණස් වස ද ඉක්මවා තිබුණි. ඒ කාලයේ සිංහල පුවත්පතක් පටන්ගන්නා විට එහි ශීර්ෂය කවියකින් සැරසීම ද සම්ප්‍රදායක් කරගෙන තිබිණ. සරසවි සඳරැස පත්‍රය ද එම සම්ප්‍රදාය අත් නොහළේය. ඒ අනුව හික්කඩුවේ මාහිමියන් වහන්සේ කවියක් තනාදුනි. එය මෙසේය.

සරණට එකලෙසා නොම හැකිලනෙක දෙස
නරගන වැඩ නිසා සුවපතන නොව ලස
පෙර පඬියෙට බසා කර ඇසුරු තතු ලෙස
සරසවි සඳරැසා පළ කරමු මන තොස

මේ කවිය තුළින් නාහිමියන්ගේ කවි තැනීම් පිළිබඳ වූ නෛපූණ්‍ය ප්‍රකට වේ.

ශාස්ත්‍රීය මෙහෙවර

ශ්‍රී සුමංගල සමය මෙකල පවත්නා ශාස්ත්‍රීය දියුණුවේ මූලාරම්භයයි. මේ රටේ තිබුණු පැරණි ග්‍රන්ථ සියල්ලක්ම පුස්කොල පොත්ය. ඒවායේ පිටපත් තිබුනේ ස්වල්පයකි.

මෙකල ප්‍රථමයෙන්ම කළ යුතු ශාස්ත්‍රීය සේවය වූයේ පුස්කොල පොත්වල තිබුණු ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ මුද්‍රණය කරවීමයි. පසුව පුස්කොල පොත්වලට සන්න, ගැටපද, ව්‍යාඛ්‍යා ප්‍රදීපිකා, ටීකා ආදිය ලිවීමෙන් ඒ සේවය වඩාත් උසස් ලෙස සිදුකරණ ලද්දේය.

ඒ සුමංගල මාහිමියන් බාලාවතාරයට සුබෝධිනී ටීකාව සැපයීම , සිදත් සඟරා සන්නය, බ්‍රාහ්මණ ධර්මකාව්‍ය , කාව්‍යශේඛර සන්නස ආදී වැදගත් ග්‍රන්ථ රාශියකට සන්න සැපයූහ. මෙතුමන්ගේ සෙසු කෘති අතර වාර්ණරීතිය, මාසර්තු ලක්‍ෂණ, සත්‍ය සංග්‍රහය , සන්ධි ග්‍රහය, සීමා විභාගය, ආඛ්‍යාත ව්‍යාඛ්‍යාව ආදිය මේ යුගයේ සුමංගල මාහිමියන් එළිදැක්වූ ග්‍රන්ථය.

අවසාන කාලය

1873 සිට 1911 දක්වා වසර තිස් අටක් පමණ කාලයක් විදුදය සෙවනෙහි වැඩහිඳ ප්‍රාචීන භාෂා ශාස්ත්‍රයට මෙන්ම සකල ලෝකවාසී බෞද්ධ ජනතාවටම අගතියෙන් තොර සුගතිගාමී, පරහිතකාමී, අමිල නිමල පරම මෙහෙවරක් සිදුකොට වදාළ විද්‍යෝදය ආදි කර්තෘභූත ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය මහෝපාධ්‍යාය හික්කඩුවේ ශ්‍රී සුමංගලාභිධාන මහානේතෘවරයාණන් වහන්සේ වසර 81 ආයු ශ්‍රී වින්දනය කොට 1911 අපේ‍්‍රල් 29 වෙනිදා ශ්‍රී ලංකාධරණී තලයම ශෝකාර්ණවයෙහි නිමග්න කරවමින් යශේෂභාවෝපගත වී වදාළ සේක. ඒ මහෝත්තමයාණන් වහන්සේ අපවත් වී 2009.04.29 වෙනි දිනට වසර 98 ක් ගතවේ. ඒ නිමිත්තෙන් විශේෂ උත්සවයක් 2009.04.29 වෙනිදා සවස 2.30 ට විද්‍යෝදය පිරිවෙණේ ශ්‍රී සුමංගල ධර්ම මන්දිරයේදී විද්‍යෝදය පරිවේණාධිපති රාජකීය පණ්ඩිත දර්ශනපති, බලන්ගොඩ ශ්‍රී සෝභිතාභිධාන ගාලු බස්නාහිර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මාහිමියන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

එහිදී විද්‍යෝදය පිරිවෙණේ දීප්තිමත් ආදි ශිෂ්‍යවරුනට පිරිනමනු ලබන ශ්‍රී සුමංගල විද්‍යාවතංස ගෞරව නාමය විද්‍යෝදය පිරිවෙණේ දීප්තිමත් ආදි ශිෂ්‍යවරු වන ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති, අමරපුර මහනිකායේ අනුනායක, අග්ගමහාපණ්ඩිත, අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට සහ මහාචාර්ය රත්න විජේතුංග මැතිතුමාට පිරිනැමීමට නියමිතය.

අපවත් වී වසර 98 ගතවෙන හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ට අමාමහ නිවන් සුව ලැබේවායි පතමු.

උපුටා ගැනිම වෙනුවෙන් ගෞරවනීය ස්තුතිය www.ravanabrothers.com

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s